මෙරටට ආවේණික දුර්ලභ ගණයේ ශාක විශේෂයක් සොයා ගැනීම හේතුවෙන් මහනුවර අධිවේගි මාර්ගයේ කඩවත සහ මිරිගම දක්වා දිවෙන කොටස ඉදිකිරිමේ කටයුතු තවදුරටත් ගම්පහ දාරලුව ප්‍රදේශයෙන් තාවකාලිකව නතර කර තිබේ.
උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්ග සංවර්ධන අධිකරණයට සිදුකරන ලද දැනුම් දීමක් මත මෙම පියවර ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එහි පර්යේශන භාර නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්යය ලක්ෂ්මන් පිරිස් මහතා පැවසුවේ අදාළ ශාකයේ පැළ ලබා ගැනීම හෝ බීජ ලබා ගැනීමේ කටයුතු අවසන් වන තෙක් අධිවේගි මාර්ගයේ ගම්පහ දාරලුව ප්‍රදේශයෙන් සංවර්ධනය කිරිමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.
මේ අතර මෙම ශාකයේ කොටස් මේ වනවිට පරික්ෂණ සඳහා පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරය වෙත යොමුකර ඇති බව සදහන්.
මෙම ශාකය ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික කෲඩියා සිලනිකා නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකයක් වේ.
මෙම ශාක විශේෂය 1998 වසරේන් පසු යළි හමුවී නොමැති, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයක් වන අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ භාවිත වන ව්‍යවහාරික නමක් නොමැති බව සදහන්.
ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් මෙම ශාකය හමුවු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම සුවිශේෂී ශාකය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ එවැනි ශාකයක් විනාශ කිරීමට හෝ හානි කිරීමට තහනම් අතර එසේ කළහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.



