දකුණුදිග යේමනයේ හමුදා පෙළපාලියකට මිසයිල ප්‍රහාරයක්

Share

දකුණුදිග යේමනයේ හමුදා පෙළපාලියකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

එරට ආරක්ෂක පාසලක උපාධි ප්‍රදානෝත්සවයක් අවසානයේ පැවති උත්සවයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යේමනයේ දකුණුදිග බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පවතින අල් ඩාලියා (al-Dhalea) නගරයේ පැවති හමුදා පෙළපාලියක් ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ප්‍රහාරය පිටුපස ඉරානයේ සහයෝගය ලබන හූති සටන්කාමීන් සිටින බව පැවසෙයි.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති අතර චෝදනා සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ආරක්ෂක විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සමගාමීව පැවති හමුදා පෙළපාලියකට ප්‍රහාරය එල්ල වී තිබේ.

බෙදුම්වාදී බලකා සහභාගීත්වයෙන් පැවති උත්සවය අවසන් වූ වහාම පෙළපාලිය ආරම්භ වී ඇති බව සඳහන් වෙයි.

වාර්තා වන ආකාරයට අමුත්තන් සඳහා වෙන් වූ ස්ථානයක් අසළ මිසයිලය පුපුරා ගොස් තිබේ.

ප්‍රහාරයෙන් පස් දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව දකුණුදිග බෙදුම්වාදී බලකා  ප්‍රකාශ කළේය.

හූති කැරලිකරුවන් විසින් ජනාධිපති අබ්ද්රාබුද් මන්සූර් හාදි (Abdrabbuh Mansour Hadi) සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය බලයෙන් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව ඔවුන් ‘සානා’ අගනුවරින් පළා ගිය අතර ඒ සමග ‘යේමන් යුද්ධය’ ආරම්භ විය.

යේමනයේ උතුරු පලාතෙන් වැඩි කොටස ‘හූති’ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතියි.

‘හූති’ කැරලිකරුවන්ට එරෙහි සටනේදී දකුණුදිග බෙදුම්වාදී බලකාවලට මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය හිමිව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News