ජනවාරි 15න් පසු බස් රථවල ඝෝෂාකාරී සංගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නතර කරන ලෙස සියලුම රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (31) පස්වරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් අපි කල් දෙනවා. එම කාලය ලබා දෙන්නේ ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර තිබෙන ගීත තැටි ලබා ගැනීමට අවහ්‍ය කාලයක් සියලුම බස් රථ රියදුරන්ට ලබා දිය යුතු නිසා. ජනවාරි මස 15න් පසු බස් රථවල ඝෝෂාකාරී සංගිතය නවත්වන ලෙස මම සියලුම රියදුරු මහත්වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉන්පසුව අපි එම පියවර නියාමනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.”
මගී බස් රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කෙරෙන ගීත වෙනුවට සරළ සුභාවිත ගීත සමුච්ඡයක් ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී ඇති අතර එම ගීත සමුච්ඡය බස් රථ හිමියන් ට හා රියදුරු මහත්වරුන්ට පිලිගන්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



