පසුගිය රජය බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා තිබෙනවා

Share

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

 

ඒ ඊයේ දින (01) පස්වරුවේය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත්තේ රෝහලේ රෝගී සත්කාර සේවාවන් නිරීක්ෂණය කිරීම හා මානව හා භෞතික සම්පත් සහ රෝගීන් සමඟපැමිණෙන පුද්ගලයන්ට රෝහලෙන් ලබාදිය යුතු අවශ්‍යතා පිළිබදව සොයා බැලීමයි.

අමාත්‍යවරිය අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුව දුක් ප්‍රථමයෙන් සොයා බලා ඇති අතර මෙහිදී ළමා වාට්ටු සංකීර්ණයේ බිම් මහලේ ප්‍රතිකාර ලබන සියලු දරු දැරියන් වෙත ගොස් ප්‍රතිකාර සේවාවන් සහ  සුවදුක් විමසා බලා ඇත.

ඒ අතරම සෑම දරුවෙකු සදහා ම ත්‍යාග ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අතින් සිදුව ඇත.

රෝහලේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය

“අපේක්ෂා රෝහලේ රෝගීන්ට නියම ආකාරයට ප්‍රමිතියෙන් උසස්  ඖෂධ ලබාදීම, එමෙන්ම රෝගීන් සමඟ පැමිණෙන පිරිස් වෙත අවශ්‍ය පහසුකම් තිබෙනවා ද යන කරුණු සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.

රෝහලේ  රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබදව අපි නිරන්තරයෙන් ප්‍රගති සමාලෝචන කටයුතු සිදු කරනවා.

එමෙන්ම රෝහලට අවශ්‍ය ඖෂධ ඇතුලු අනෙකුත් උපකරණ සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා. එම කටයුතු සදහා අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා මේ වන විටත් ලබා දී තිබෙනවා.

ඉදිරියටත් ලබා දීමට කටයුතු කරගෙන යනවා.

මෙම අමාත්‍යාංශය අපි බාරගන්නා විට රුපියල් බිලියන 12 ක හිඟ මුදල් ගෙවන්න තිබුනා නොයෙක් ඖෂධ සමාගම් ඇතුලු ආයතනවලට.

ලබන අවුරුද්දේ රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ සදහා අයවැයෙන් රුපියල් බිලියන 120 ක් වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

මේ රටේ මිනිසුන්ගේ බදු වලින් සොයන මුදල් තමයි ඖෂධ සදහා මෙසේ වෙන් කරන්නේ.

එසේ කළත් අපට යම් අවස්ථාවල කණගාටුවක් ඇති වෙනවා එය ආණ්ඩුව නැති කාලයේ අපිට දැනුනා. එවැනි ලොකු මුදලක් වෙන් කරලත් රෝහල්වලින් ජනතාව බලාපොරොත්තු වන සේවාවන් සහ පහසුකම් එම අයට ලැබෙනවා ද කියන එක ගැන.

ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙලා රෝහල්වලින් පිටව යනවා ද කියන ගැටලුව අපි විපක්ෂයේ ඉන්න කාලයේ අපට ඇති වුණ ප්‍රශ්ණයක්.

වර්තමාන රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දර්ශණය වෙලා තිබෙන්නේ ඉහළ ප්‍රමිතියකින් යුතු බෙහෙත් සාධාරණ මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිල දී අරගෙන රෝගීන්ට ලබාදීමත්, ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය පහසුකම්, ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම සහ ගරුත්වය ලබාදිම මෙන්ම හොද මානසික තත්ත්වයකින් රෝහලින් පිටව යා හැකි වටපිටාවක් නිර්මාණය කිරිමයි. ඒ සදහා වන මූලික වැඩපිළිවෙල අමාත්‍යාංශය මට්ටමෙන් අපි සිදු කරමින් යනවා. එම කටයුතු නිරීක්ෂණය කිරීමට තමයි අද අපි මහරගම අපේක්ෂා රෝහලට පැමිණීයේ. “යනුවෙන් පවසා ඇත.

පසුගිය රජය සමයේ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමක් සිදු වෙලා තිබෙනවා ද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරිය –

“සමහර අක්‍රමිකතා සිදු වී තිබෙන බවට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රජය නීත්‍යානුකූල පියවර ගැනිමට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය සමයේ ජනාධිපති කොමිසමෙන්  යම් යම් ප්‍රශ්ණ ඇති වුණා. බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලක්වෙලා තිබෙනවා. එම කොමිසන් වාර්තා තිබෙනවා. ඒ අනුව නීත්‍යාණුකූල පියවර ගන්න අපි කටයුතු කරනවා.”යනුවෙන් පවසා ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා, අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව ඇත.

Read more

Local News