හපුතලේ ප්රදේශයේදී සිදුවු ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය අද (04) සිදු කිරිමට නියමිතව තිබේ.
මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර මේ වන විට බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසුවේය.
මහේස්ත්රාත් පරීක්ෂණය ඊයේ (03) පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් පැවැත් වීය.
ඊයේ උදෑසන 09.15 ට පමණ හපුතලේ තම්බිපිල්ල මාවත, අයිස්පිල්ල ප්රදේශයේදී ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් විය.
ගුවන් යානය අනතුරට ලක්වන විට එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් සියලුදෙනාම ජීවිතක්ෂයට පත් විය.
ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමු ලෙස කටයුතුකර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතායි.
සහය ගුවන් නියමුවා ලෙස බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කටයුතු කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේ ගුවන් යානය තුළ නායක ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි මහතා ද සැරයන් ඩී .ඩබ්ලිව්.කුමාර මහතාද සිට තිබේ.



