පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පැමිණිල්ල අද(06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබීය.
එහිදී පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ඇති බවයි.
ඊට අමතරව අසාත් සාලි හා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහතුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇති බව ඔහු කියා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට(07) හෝ අනිද්දා(08) දින ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා තවමත් දින ලබාදී නොමැති බවත් පැවසුවේය.
පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 22 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.



