පුරන් කුඹුරුවල ඕනෑම අතුරු බෝගයක් වගා කිරීමට අවසර

Share

කන්න 10ක් පමණ වගා කර නොමැති පුරන් කුඹුරුවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගා කිරීමට අවසර ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට වසර කිහිපයක් මුළුල්ලේ මහජනතාවගෙන් ලැබුණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජලය ලබාගැනීමේ අපහසුතාවය මත නිශ්චිතවම වගා කළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරිමට මේ මාසයේ සිට අවසරය ලැබී තිබේ.

ඒ අනුව ගම්මිරිස්, මඤ්ඤොක්කා ආදිය වගා කිරීමටත් ජලජ මල් වර්ග, සත්ත්ව පාලනය, මිරිදිය මත්ස්‍ය වගාව, ගව කොටු, හරිතාගාර වැනි දේ ආරම්භ කිරීමටත් අවකාශය ලබාදී තිබේ.

කෙසේ වෙතත් කුමන හේතුවක් නිසා හෝ මෙම ඉඩම්වල පස් පිරවීමට අවසර ලබානොදෙන අතර රබර්, පොල් වැනි ස්ථිර බහු වාර්ෂික බෝග වගකිරීමටද අවසර නොලැබේ.

විදේශීය රටවලින් පලතුරු හා වෙනත් බෝග වර්ග ආනයනය කිරීමට යන වියදම අඩු කර ගනිමින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට මෙම වැඩපිළිවෙල තුළින් අපේක්ෂා කෙරේ.

Read more

Local News