ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය නිසා ඉදිරි මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුව වඩාත් ශක්තිමත්ව බලයට පත්වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (19) එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එළවළු මිල වැඩිවීම සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයාගෙන් විපක්ෂය විසින් දේශපාලන දඩයමක් සිදු කරන බවට චෝදනා එල්ල විම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයින් නීතිය නමා දමා, අධිකරණයට විවිධ බලපෑම් කරමින් තම උසස් වීම් ලබා ගැනීමට විනිසුරුවරුන්ට දේශපාලනඥයින්ගේ උදව් ලබා ගැනීමට අවශ්‍ය වන තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.
රටට සිදුව ඇති මහා විනාශය ගැන කල්පනා කළ යුතු බවත් පැවසු අමාත්‍යවරයා, මෙය නිවැරදි කිරීමට සියලු දේ පසෙකලා කටයුතු කළ යුතු බවත් පැවසීය.
මේ අතර නව අයවැයක් සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බලය සජිත් ප්‍රේමදාස මහතා විසින් ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරීම ගැන මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ, ඒවා “ළමා කතා“ බවයි. ගෝඨාභය ජනාධිපතිවරයාට අණපනත් සම්මත කිරීමට හෝ වෙනත් කිසිදු ක්‍රියාවක් මෙම කාලයේ දී කළ නොහැකි බවත් ඒ අනුව අප්‍රේල් මාසයේ දී මැතිවරණයෙන් පසුව බහුතර බලයකින් පසුව අගමැතිවරයා හා ජනාධිපතිවරයා එක්ව ශක්තිමත් ආණ්ඩුවක් සාදා ගන්නා බවත් පැවසීය.
මේ අතර රටේ කෘෂිකර්මාන්තය හා සියලු අංශ කඩා වැටී තිබිය දී රටේ බඩු මිල මේ තත්ත්වයෙන් හෝ පැවතීම ගැන සතුටු වන බවත් පැවසු අමාත්‍යවරයා, පසුගිය වසර 5 තුළ සිදු කරන ලද දෙයෙහි ප්‍රතිඵලය එක් දිනකින් අනෙක් පැත්ත හැරවිය නොහැකි බවත් කියා සිටියේය.
මේ සඳහා දේශපාලන හා පක්ෂ පාට බේදයකින් තොරව වැඩි වැඩියෙන් වැඩ කිරීමෙන් මෙම තත්ත්වය මඟ හැරී යන බවත් මෙම තත්ත්වය නීරස වුවත් එය සත්‍ය තත්ත්වය බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.



