දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබ්නට් අනුමැතිය‍

Share

සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

 

නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

එමඟින්, පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත්, බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබිණි.

ඒ අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධන යටතේ රඳවා ගැනීමේ බද්ද රු. 250,000 දක්වා නිදහස් කෙරේ.

උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු.100,000 සිට රු. 250,000  දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කෙරේ.

දේශීය ආදායම් පනතට හඳුන්වා දෙන එම යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් බදු සහනයන් පිළිබඳ විස්තර ඇමුණුම 01 හි සඳහන් වේ.

Read more

Local News