අපි දූපත් රාජ්‍යයක් නිසා කොරෝනාට එන්න තිබෙන ඉඩකඩ අඩුයි

Share

කොරෝනා වෛරසයේ බලපෑම අවම කරගැනීම සඳහා ඒ පිළිබඳ නිසි දැනුම ඇති ප්‍රවීණයන්ගේ අදහස් වලට අවස්ථාව ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

සිය පක්ෂ මුලස්ථානයේ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අපි දූපත් රාජ්‍යයක් වන බැවින් වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට විශේෂ හැකියාවක් ඇති බවයි.

එහිදී ප්‍රමුඛ වශයෙන්ම මෙම වෛරසය පැතිර යා හැක්කේ ගුවන් තොටුපල හරහා වන බවත් කියා සිටි ඒ මහතා, එවැනි පුද්ගලයින් ලංකාවට ඇතුළු වීමෙන් පමණක් මෙම අසාදන තත්ත්වය ලංකාවට තුළ වර්ධනය වීමේ හැකියාව පවතින බවත් ඒ මහතා පැවසීය.

ඒ නිසාවෙන් ගුවන් තොටුපලෙන් මෙම වෛරසය සැඳී මෙරටට ඇතුළු වෙන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය විදිමත් කළ යුතු බවත් පැවසු අනුර කුමාර මහතා, ගුවන් තොටුපල තුළ එම ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බවත් කියා සිටියේය.

එමෙන්ම මෙම වෛරසය විශාල ලෙස පැතිර යනු ඇතැයි යම් තොරතුරක් වෙතොත් ඒ සඳහා අවශ්‍ය මුඛ ආවරණ ජනතාවට නොමිලේ ලබා දිය යුතු බවත් අනුර කුමාර මහතා පැවසීය.

එමෙන්ම මෙවැනි ව්‍යවසනයක දී විශාල කාර්ය භාරයක් ඇත්තේ දේශපාලඥයින්ට නොව ඒ සඳහා අධ්‍යාපනය හා පළපුරුද්ද ඇති විශේෂඥයින්ට බවත් ඔවුන්ගේ මාර්ග උපදේශන ක්‍රියාවලිය තුළ කටයුතු කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

එසේ නොමැතිව එක් එක් දේශපාලඥයින් විසින් විටින් විට සිදුකරන ප්‍රකාශ මෙවන් අවස්ථාවක යෝග්‍ය නොවන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News