භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05ට, අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබේ.
මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොතිබූ අතර, එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස, කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගියදා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිඛිතව දන්වනු ලැබීය.
අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර , මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පෙබරවාරි මස 18 හා 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සිදු කරන ලද වෝහාරික විගණනයට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුව වෙත භාර දී අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද(30) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදිනියක විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය.
“මාධ්‍යවේදිනිය – වෝහාරික විගණන වාර්තාවට අදාළ කොටස් අඩුවෙන් ලබා දුන්නා යැයි කියන ඇමුණුම්, පර්ලිමේන්තුව වෙත ලබා දීමට මහ බැංකුව පියවර ගන්නවාද?
ජ්‍යෙ.නි. අධිපති – ඒවා දැනටමත් පාර්ලිමේන්තුවට භාර දීලා අවසන්.
මාධ්‍යවේදිනිය – නමුත් ඔවුන් කියනවා, ඇතැම් කොටස් හා ඇමුණුම් එහි නැහැ කියලා.
ජ්‍යෙ.නි. අධිපති – ඔබ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසිය යුතුයි. අපේ පැත්තෙන් ඒවා ලබා දීලා තිබෙන්නේ. කථානායක කාර්යාලය අපගෙන් ඉල්ලීමක් කළා. පළමුව අපි ප්‍රධාන වාර්තාව ලබා දුන්නා. මොකද, නීතිපතිවරයා අපට උපදෙස් දී තිබුණා මේ වාර්තාව කිසිවකු වෙත ලබා නොදෙන ලෙස. කථානායකවරයාගේ ඉල්ලීම අනුව, නීතිපතිවරයාගේ උපදෙස් මත ඉන් පසු අප ඉතිරි කොටස් සියල්ල ලබා දෙන්න පියවර ගත්තා.“



