නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව අද(31) පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නවතම දත්ත වාර්තාව එළිදක්වා තිබේ.
ඒ අනුව, වෛරසය ශරීර ගත වී දින 2 සිට දින 10 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකියි.
නමුත් රෝග ලක්ෂණ මතුවීමට පෙර සිටම ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛසරය බාහිර පරිසරයට පිටවිය හැකියි.
එම නිසා රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය අන් අයට පැතිරිමේ අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ දින 14 ක් පමණ හැකිතාක් දුරට බාහිර සමාජයේ ගැවසීම අවම කිරීම තුළින් වෛරසය අන් අයට පැතිරීම බොහෝ දුරට වළක්වා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි දින සිට දින 14 ක් ගත වන තුරු පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.
ලංකාවට පැමිණෙන විට ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම්…
- හැකිතාක් දුරට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී නිවස තුළම රැඳී සිටින්න.
- මුහුණු ආවරණ පළඳින්න.
- නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිටින වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් සමඟ ගැවසීම හැකිතාක් දුරට අවම කරන්න.
- සබන් හෝ සුදුසු සෝදන ද්‍රව්‍යයක් භාවිතා කර නිවැරදිව, නිතර අත සේදීම කරන්න.
- නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මඟින් රෝගය පැතිරීම අවම කර ගත හැක.
- නිවසේ හෝ සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අවශ්‍ය නැත.
- හොඳින් වාතාශ්‍රය ඇතුළු වීමට කාමරවල දොර ජනෙල් විවෘතව තබන්න.
- කිවිසුම් යෑමේ දී/ කහින විට දී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුඛය හා නාසය ආවරණය කිරීම සහ භාවිතා කළ ටිෂු කඩදාසි නිසි පිරිදි ඉවත දැමීම.
ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත්…
- රෝග අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පළඳින්න.
- ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ /සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැන්වත් කරන්න.
- වහාම ළඟම ඇති නිර්දේශිත රජයේ රෝහලක් වෙත වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමු වන්න.
- නිවසේ හා සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳීම මඟින් ඔවුන්ට රෝගය වැළදීම වළක්වා ගත හැකියි.



