වූහාන්හි ඉදිකළ රෝහලේ ප්‍රතිකාර කටයුතු අද අරඹයි

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 362ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

කෙසේවෙතත් වෛරසය ආසාදිත වූවන් අතරින් 475 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා සිටියි.

මේ අතර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ වූහාන් නගරයේ සතියක කාලයකින් ඉදිකළ රෝහලේ ප්‍රතිකාර කටයුතු අද ආරම්භ කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව කොරොනා වෛරසය වැළඳුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සතියක කාලයක් තුළ චීනයේ ඉදි කළ නව රෝහලේ ප්‍රතිකාර කිරීමේ කටයුතු අද ආරම්භ වෙයි.

වූහාන්හි හෝශෙන්ෂන්හි ඉදිකළ එම රෝහල වූහාන් නගරාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී නිල වශයෙන් චීන විමුක්ති හමුදාවට පවරාදී ඇති අතර හමුදා පරිපාලනය යටතේ රෝහලේ කටයුතු සිදුවෙනු ඇති.

හමුදා රෝහල්වලට සමාන ප්‍රමිතියට ඉදිකර ඇති මෙම රෝහලෙන් වූහාන් නගරය දැනට මුහුණපා ඇති රෝහල් ඇඳන් හිඟතාව ලිහිල් කළ හැකි බව චීන බලධාරීන්ගේ අදහසයි.

වර්ග මීටර් 25,000ක භූමි ප්‍රදේශයක ඉදිකෙරුණු රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි.

2003 වසරේදී සාර්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගීන්ට නේවාසික පහසුකම් සැලසීම සඳහා බීජිං හි ෂොතන්ග්ශාන් රෝහල දින 07ක් තුළ ඉදිකරනු ලැබූ අතර එය වඩාත් කඩිනමින්ම ඉදිකිරීම් අවසන් කළ රෝහල ලෙස ඉතිහාසයට එක් කිරීමට චීනය සමත්වුණි.

මාස දෙකක් තුළ එරට සාර්ස් අසාදිත රෝගීන්ගෙන් හතෙන් එකක් ඊට ඇතුළත් කර ගත් අතර එය හඳුන්වනු ලැබුවේ “වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්” ලෙසයි.

එම වාර්තාව ආසන්නයටම පැමිණෙමින් කොරෝනා වෛරසය වෙනුවෙන් ඉදිකළ මෙම රෝහල දින 08ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කළ සේවකයින් ගණන 4,000 කට ආසන්නයි.

මේ අතර  වෛරසය ආසාදිත වූවන් සඳහාම ඉදි කෙරෙන දෙවැනි රෝහලද මේවන විට අවසන් අදියරට පැමිණ ඇත.

ඇඳන් 1600කින් සමන්විත එම රෝහලේ‍ ප්‍රතිකාර කටයුතු අනිද්දා ආරම්භ කිරීමට නියමිතයි.

මේ  අතර කොරෝනා වෛරසයට පිළියම් කිරීමේදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තායිලන්ත වෛද්‍යවරු සමත් වී ඇත.

ඒ , වෛරසය අසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකුට උණ සහ එච්.අයි.වී සඳහා වන ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කිරීමෙන්.

එම රෝගියා පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ සුව අතට හැරීම වෛද්‍යවරු මවිත කරන සිදුවීමක් බවයි වාර්තා වන්නේ.

අද වනවිට චීනය ඇතුළු රටවල් 27 කින් හමුවන කොරෝනා වෛරසය ආසාදිතවූවන් ගණන 17,000 ඉක්මවා ඇති  අතර නවතම ආසාදිතයින් වාර්තා වන්නේ ස්වීඩනයෙන් හා ස්පාඤ්ඤයෙන්.

මරණ සංඛ්‍යාව 362ක් වන අතර වෛරසය ආසාදිත වූවන් අතරින් 475 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා සිටියි.

මේ අතර චීනයේ වූහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කළ විශේෂ නවාතැනේ තවදුරටත් රැඳී සිටියි.

වැඩිහිටියන් 29 දෙනෙකු සහ දරුවන් සිව්දෙනෙකු ඒ අතරට අයත්.

තවත් දින 12ක කාලයක් ඔවුන්ට එම ස්ථානයේ රැඳී සිටීමට සිදුවන අතර දෛනිකව ඔවුන්ගේ ශරීර තත්ත්වයන් පරීක්ෂාවට ලක් කරන බව යුදහමුදාව සඳහන් කළේය.

Read more

Local News