හිටපු මහේස්ත්‍රාත් තිලිණගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

Share

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත්කර වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

තිලිණ ගමගේ මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමාට එරෙහිව ගොනු කළ නඩුවක් මේ වන විට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගනිමින් පවතින බවයි.

විනිසුරු කුලතුංග මහතා එම නඩුව විභාග කරන ආකාරය අනුව තමන්ට යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව ගමගේ මහතා සිය පෙත්සමෙන් කියා සිටියේය.

එබැවින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත් කර එම නඩුවේ විභාගය වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසද තිළිණ ගමගේ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Read more

Local News