විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සදහා වූ සාකච්ඡාවක් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්යක්ෂවරුන් සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවත්විය.
මෙම සාකච්ඡාව කොල්ලුපිටිය පිහිටි අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණ අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් සංවිධානය කර තිබිණි.
මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ හා නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබීය.
විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇති නව නිෂ්පාදන වාණිජකරණයට ලක් කර ඒවාට දෙස්-විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමන් අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඒ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මුල් වී කටයුතු කිරීම අගය කළ යුතු බවත් එම පිරිස පැවසූහ.
මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයක් ලෙස සතොස, කාගීල්ස්, කීල්ස් හා ලාෆ්ස් වෙළෙඳසැල් ජාල නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ය.
එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික ක්ෂේත්රවලට අදාළ නිමැයුම් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.



