විදෙස් දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු  අද(06) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසා සිටියේ, මොහු මහනුවර , ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි.

ඔහු අද අලුයම 12.50 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 0557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් 15,76,000 ක් (පහලොස් ලක්ෂ හැත්තෑ හය දහසක්) වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 156 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.කේ. ගන්කේවෙල මහත්මියගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ.යූ.කේ.දොඩංවෙල , රේගු අධිකාරීවරුන් වන ජී.එම්.රත්නායක ඇතුළු පිරිසක් විසින් මෙහෙයවා තිබුණි.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ උපුල් හෙට්ටිආරච්චි මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගියාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

Read more

Local News