ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතුයි

Share

ඉදිරි මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබාදිය යුත්තේ අග්‍රාමාත්‍යවරයා සතු බලතල අඩු කිරිම සඳහා නොවන බව වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

 

නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතු බවත් පැවසීය.

එය එකම බලාපොරොත්තුව බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් සෑදිය යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා,  සමහරු මෙම තුනෙන් දෙකක ආණ්ඩුව පටලවා ගෙන ඇතැයි ද කියා සිටියේය.

එවැනි ආණ්ඩුවක් සෑදිමට යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට ඇති බලය නැති කිරීමට යැයි ඇතැමුන් සිතා සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ දීත් ගෝඨාභය ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සියලු කටයුතු ඉටු කළ බවත් පැවසීය.

මෙතැන ඇත්තේ ජනාධිපති හා අගමැති අතර බලතල ගැනීමේ ප්‍රශ්නයක් නොව රටක් ලෙස 19 වන සංශෝධනය හේතුවෙන් ඇතිව තිබෙන අයහපත් තත්ත්වය බවත්, ඒ නිසාවෙන් තුනෙන් දෙකක බලයක් අවශ්‍යව ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Read more

Local News