මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී කොටස කඩිනමින් විවෘත කරන්න – කිරිඇල්ල

Share

යහපාලන රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතියක්වූ මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කොටස කඩිනමින් අවසන් කොට විවෘත කරන ලෙස හිටපු මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදි (05)ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍යවරයා වාචික ප්‍රශ්නවල පිළිතුරු ලබාදෙන අවස්ථාවේදි මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම සිදුකරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ යහපාලන රජය සමයේ මෙම දෙවන කොටසේ ඉදිකිරීම් 90%ක් අවසන්කොට තිබූ බවත් ඉතිරි 10%ක කොටස කඩිනමින් විවෘත කරන්නේනම් ජනතාවට නව මාර්ග 02ක් ඔස්සේ මහනුවර පැමිණීමට හැකිවන බවයි.

මධ්‍යම අධිවේගයේ පළමු හා තෙවන කොටස් ඉදිකිරීම් ප්‍රමාද නමුත් යහපාලන රජයට ලැබුණු පළමු වරමට මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති 40km කොටසේ 38km ක් අවසන් කොට තිබූ අතර ඉතිරි 2km අවසන් කරන්නේ නම්,

“කටුනායක අධිවේගි මාර්ගය‐මීරිගම‐කුරුණෑගල හරහා මහනුවර හෝ පස්යාල ‐මීරිගම‐කුරුණෑගල‐මහනුවර ” දක්වා පැමිණිමට හැකි බවත් මේ ඔස්සේ කුරුණෑගල දක්වා පැයකින් ගමන් කළහැකි අතර මහනුවරට යාමට ගතවන කාලය පැය 02කින් පමණ අඩුවන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

දකුණු අධිවේගි මාර්ගය අවසන් කළ හැකිවූයේ එවක රජයට දෙවතාවත් ජනවරම හිමිවූ නිසා බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පැවසූයේ යහපාලන රජය පළමුවරමට මාර්ගය සිතියම් ගතකිරීම්, ඉඩම් මැනීම් හා පවරා ගැනීම්, වෙළඳ වටිනාකම මෙන් දෙගුණයක වන්දි ලබාදීම් ආදි මූලික වැඩකටයුතු සිදුකරමින් දෙවන අදියරේ ඉදිකීරීම් සියයට අනූවකින් අවසන් කළ බව ද පැවසීය.

මෙයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මීරිගම‐කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කඩිනම් කොට මෙම වසරේ අගෝස්තු මස වනවිට අවසන් කිරිමට සැලසුම්කර ඇති බවයි.

Read more

Local News