ඇවන්ගාඩ් නඩුවේ විරෝධතා පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට

Share

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 882 කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ නියෝගය ලබන 20 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

 

ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  විසින් මෙම නියෝගය කළේය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ  මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ඉකුත් 21 වනදා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලදී.

එම චෝදනා පත්‍රය අද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් ඉකුත් දාහත් වනදා මෙම ත්‍රිපුද්ගල හාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවකට අනුව නීතිපතිවරයා විසින් මෙම සංශෝධිත චෝදනා පත්‍රය ගොනු කර ඇති බව සඳහන් කළේය.

මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය තුළින් දැනට මෙම නඩුවෙන් නිදහස් කර තිබෙන සෙසු විත්තිකරුවන් පස්දෙනා ද යළි ඊට එක්කර ගැනීමට අවසර පතන බව ද රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධතා ඉදිරිපත් කළ විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම නඩුවෙන් දැනට නිදහස් කර තිබෙන විත්තිකරුවන් ද නඩුවට යළි එක් කරගැනීමට නීතිපතිවරයා විසින් කරන ඉල්ලීම ද මුළුමනින්ම නීතියට  පටහැනි බවයි විත්තියේ නීතිඥවරයා තර්ක කර සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සංශෝධිත අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් බිත්තිය ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ නියෝගය ලබන 20 වනදා ප්‍රකාශයට පත් කළ බව නියෝග කළේය.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්  චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.

Read more

Local News