ජනතා ගැටලු ගැන අවබෝධයක් නොමැති එකිනෙකා කෙරෙහි ගෞරවයක් හෝ සුහඳත්වයක් නොමැති පාර්ලිමේන්තුව වසා දැමීමෙන් කිසිඳු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ මේධන්කර මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දවසකට වැඩිම මුදලක් වියදම් කරන ආයතනය පාර්ලිමේන්තුව බවයි.
ඒ බව දූදරුවන්ගෙන් ප්‍රශ්න කර සිටි අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව පවත්වන දිනක දී ලක්ෂ 92 ක් ඒ සඳහා වියදම් වන බවත් පැවසීය.
එය නොපවත්වන දිනක දී ලක්ෂ 87 ක් වියදම් වන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, වත්මන් පාර්ලිමේන්තුව තුළ එකිනෙකා කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති බව පෙනී යන බවත් කියා සිටියේය.
පසුගිය දිනක මිරිස් කුඩුවලින් පාර්ලිමේන්තුව තුළ ගසා ගන්නා ආකාරය දැක ගන්නට ඇතැයි පැවසු අමාත්‍යවරයා, සමහරු පිහි පවා රැගෙන එන බවත් ලක්ෂ 92 ක් වියදම් කර එහි ප්‍රතිඵලයක් නොමැති බවත් පැවසීය.
ඒ නිසාවෙන් පාර්ලිමේන්තුව වසර 2 – 3 කට වසා දැමීමෙන් රට තුළ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවෙන බවත් පැවසු ඒ මහතා, ඒ මුදල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවිය හැකි බවත් කියා සිටියේය.
අද වන විට රට අලුත් චින්තනයකින් ගමනක් ආරම්භ කර ඇති බවත් පැවසු විදුර වික්‍රමනායක මහතා, එය සාර්ථක වීමට නම් සිතුවිලිවල වෙනසක් ඇති විය යුතු බවත් පැවසීය.



