මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමඟම රජය වී මිල දී ගැනීමේ වැඩසටහන ද ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ගොවීන්ව සූරාකෑමේ අවස්ථාව අවම වී ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඉතිහාසයේ ප්‍රථම වරට තෙතමනය සහිත වී ද රජය මිල දී ගැනීම ගොවීන්ට මහත් පහසුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (12) තලාව වී ගබඩා සංකීර්ණයේ කළ සංචාරයක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මේ වන විටත් ගොවීන් සිය වී අස්වැන්න රජයේ ගබඩා වෙත ලබා දීම ආරම්භ කර ඇති අතර අමාත්‍යවරයා කියා සිටියේ මෙම මස අවසානය වන විට සැලකිය යුතු වී අස්වැන්නක් රජයේ ගබඩා වෙත ලැබෙනු ඇති බවයි.
කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙනුවෙන් රජය කැපවන බවත් ඒ සඳහා කළ යුතු සියලු කටයුතු ඉටු කිරීම අපේක්ෂාව බවත් හෙතෙම පෙන්වා දෙයි.
රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගොවීන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැති බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩසටහනේ කිසිදු ප්‍රමාදයක් ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.
දුර බැහැර ප්‍රදේශවල අස්වැන්න මිල දී ගැනීම සඳහා ජංගම රථ යෙදවීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර ඇත.



