නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(20) දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
දහවල් 01.30 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පලිගැනීමේ චේතනාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී ඇත.
මේ අතර නුගේගොඩ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද අද ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාලව වැඩ තහනමට ලක්කිරීම හේතුවෙන් තමන් අපකීර්තියට මෙන්ම ලබා ගත හැකිව තිබූ උසස්වීම් අහිමි වූ බව පවසමින් තිළිණ ගමගේ මහතා විසින් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
මේ අතර දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
එහි පැමිණිලි භාර ගැනීමේ කාලය අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.



