පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර වෙනසක් ඇති වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ජනතාව පීඩාවට පත්වීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල පැවති වැඩසටහනකට ඊයේ(02) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කුරුණෑගල ,හිරිපිටිය නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, ගොඩනැඟිලි කොතෙක් සෑදුවත් ඒවා පරිහරණය නොකරන්නේ නම් එයින් ඵලක් නොමැති බවයි.
කොතෙකුත් මධ්‍යස්ථාන බිහි වුණත් එයින් නිසි සේවයක් ලබා නොගැනීම ජනතාවගේ දුර්වලකමක් බවත් පැවසු අගමැතිවරයා, පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර වෙනසක් ඇති වුවහොත් එයින් පීඩාවට පත්වන්නේ ජනතාව බවද මෙහිදී පැවසීය.
ඒ බව පසුගිය ආණ්ඩුව කාලයේ දී හොඳින් දැක ගත හැකි වු බවත් පැවසු අගමැතිවරයා, පසුගිය ජනපති හා අගමැති අතර ගැටුම් ඇති වු බවත් දෙගොල්ලන්ම උකුස්සන් වීමට උත්සහ ගත් බවත් කියා සිටියේය.
මේ වන විට ජනපතිගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් කියා සිටි රාජපක්ෂ මහතා මේ වන විට රජයේ රැකියා ලබා දීමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් පැවසීය.



