ආනයනික කසළ ප්‍රතිඅපනයනයට විරුද්ධ නැති බව අධිකරණය දැනුම් දෙයි

Share

ආනයනය කරන ලද අපද්‍රව්‍ය අඩංගු කැලි කසළ කන්ටේනර් නැවත එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව අභියාචනාධිකරණය අද සඳහන් කළේ ය.

 

අභියාචනාධිකරණය අද මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය බලධාරීන්ට නියෝග කළේ, එබැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණය පනවා ඇති අතුරු තහනම් නියෝගය බාධාවක් කර නොගෙන එකී කැලි කසළ එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීම සඳහා එරට පරිසර බලධාරීන් සමග සාකච්ඡා කර එකඟතාවක් ඇතිකර ගෙන මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

එම කැලි කසළ කන්ටේනර්වල සැබෑ හිමිකාරීත්වය ඇත්තේ තම සමාගමට වන බැවින් නිසි සැකසුම් ක්‍රියාවලියකින් තොරව ඒවා නැවත එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට එකඟතාවක් ඇතිකර ගත නොහැකි බව සිලෝන් මෙට්ල් ප්‍රොසෙසින් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණය දැනුම් දුන්නේ ය.

කෙසේ නමුත් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබූ හේලීස් ෆ්‍රි සොන් සමාගම එහිදී අධිකරණයට දැනුම් දුන්නේ, ඒවා නැවත ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බවයි.

ඒ අනුව එම නඩුව ලබන මැයි 04 වැනි දා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩි නවාස් හා අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළහ.

Read more

Local News