රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය 11 වන දා රාජ්‍ය පරිපාලන වෙබ් අඩවියට

Share

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ඒ අනුව සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇති.

ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එහි සඳහන් වන්නේ, පත්වීම ලැබී දින 3 ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි, පත්වීම් ලිපියේ සඳහන් වුව ද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරගත යුතු නැති බවයි.

දැනට පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතු අතර ඔවුන්ගේ පැමිණීම ප්‍රාදේශීය ලේකම්වරයා සටහන් කරගනු ඇති.

“ලිපිය ලැබී දින 7ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ” යනුවෙන් සඳහන් වුව ද එය ද බලාත්මක නොවන ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 5 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කෙරෙන අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කරනු ඇති බවයි.

පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ පිරිස 45,585 කි.

Read more

Local News