කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.
ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් වන අතර මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අදාළ රෝගියාගේ වෛද්‍ය වාර්තා අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා MRI පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.
මේ අතර ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී.
එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.
කොරෝනා වෛරසය මෙරටදී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හදුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
52 හැවිරිදි මොහු සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියාකල අයෙකි.
ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ.
රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර තිබේ.
රට තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ සඳහා ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කෙරිණ.
එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහාය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටියි.



