කොරෝනා මර්දනය කාර්ය සාධක බලකායේ තීරණ

Share

කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාත උපදෙස් දෙයි.

 

තීරණය හෙට (18) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද ජනාධිපතිවරයා විසින් දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබීය.

ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළයුතු වුවද රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකියැයි ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

නිවැරදි තීන්දු ගැනීමට තමා සූදානම් බව කී ජනධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

සාකච්ඡාව ආරම්භ කරමින් කොරෝනා උවදුර ජය ගැනීමට රජය ගත් පියවර එකින් එක පැහැදිළි කළ ජනාධිපතිවරයා කාර්ය සාධක බලකාය ස්ථාපනය කළේ ජනවාරි 26 වැනිදා බව සඳහන් කළේය.

ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර තිබුණේ නැත.

චීනයේ වූහාන් නගරයේ සහ සෙසු නගරවල සිටී සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගනු ලැබූහ.

සිය රට එන අය නිරෝධායනය සඳහා ස්ථාන රැසක් විවෘත කරන ලදී.

සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ වෛරසය ව්‍යාප්තිය මර්දනය තවත් පහසු කිරීමේ අරමුණ ඇතිවය.

දැන් තවත් දින 03ක් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු අංශවලට නිවාඩු දී ඇත.

වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 300ක් පමණ දෙනා ස්ථාන කිහිපයක රැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඔවුන් එක් තැනකට රැස් කොට යළි දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යවන්නැයි ජනාධිපතිතුමා නිලධාරීනට නියම කළේය.

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීමත් සමග වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට ඉවහල් වන සෑම පියවරක්ම ගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

විදේශගතව සිට සිය රට පැමිණ නිරෝධායනයට පාත්‍ර නොවී සැඟවී සිටින පුද්ගලයන් ගැන තොරතුරු සොයන ලෙසත් ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කරන  ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.

“උද්ගතව ඇති ප්‍රශ්නය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නැත.

පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී.

මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය තිබේ” ජනාධිපතිවරයා සඳහන් කළේය.

වෛරසයේ ව්‍යාප්තිය මුල් කොට ගෙන ජනතාව බියපත් කිරීමේ අරමුණ ඇතිව කට කථා සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද රැස්වීමේ දී අවධාරණය කරනු ලැබීය.

ආර්ථිකය සහ ජන ජීවිතය අඩාල වන අයුරින් නිවාඩු දීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සෞඛ්‍ය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News