ජනපතිගෙන් සහතිකයක්

Share

තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුඳු නොකරන බවට සහතික වන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජාතිය අමතමින් ඊයේ(17) විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කිසිදු හේතුවක් මත රජය අකර්මණ්‍ය වීමට ද ඉඩ දිය නොහැකි බවයි.

මේ අතර පවතින තත්ත්වය තුළ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති බවත් රට සුරක්ෂිත බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිටියේ, තමා බලයට පත් වෙන විට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගෙන රට පවත්වා ගෙන ගිය බවයි.

සුළුතර ආණ්ඩුවකට ඉදිරියට යෑම අසීරු බැවින් තමාට ලැබුණු පළමු අවස්ථාවේ දීම ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබු බවත් ජනපතිවරයා මෙහිදී පැවසීය.

තමාට හිමි බලතල අනුව අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගත් බවත් පැවසු ජනාධිපතිවරයා, ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළ බවත් කියා සිටියේය.

නමුත් මැතිවරණයක් පවත්වා නව රජයක් තුළින් තමා ලබා දුන් පොරොන්දු හා සහන ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මේ මොහොතේ තම වගකීම වන්නේ රජය නිසි ලෙස පවත්වා ගැනීම වන බවත් පැවසු ජනපතිවරයා, කුමන හේතුවක් නිසාවෙන් හෝ රජය අකර්මරණය වීමට ඉඩ දිය නොහැකි බවත් කියා සිටියේය.

දුරදිග බලා කටයුතු නොකරන්නේ නම් ‍, සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි යැයි පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, නායකයින් ආත්ම විශ්වාසයෙන් වැඩ කළ යුතු බවත් පැවසීය.

ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතු යැයි ද පැවසු ජනපතිවරයා, ලංකාවට වෛරසය ඇතුළු වීමට හා එය රට තුළ පැතිර යෑමට ඇති ඉඩකඩ අවම කිරීම බවද සඳහන් කළේය.

එයට අදාළ කටයුතු මේ වන විටත් දියත් කර ඇතැයි ද පැවසු ඒ මහතා, ජන ජීවිතය පහසු කිරීම සඳහා පරිභෝජනය තත්ත්වය තහවුරු කළ යුතු බවත් පැවසීය.

ඒ අනුව සහල් සැපයුම ස්ථාවර කර ඇති අතර, අනෙකුත් කටයුතු ද අවම මිනිස් ප්‍රජාවක් යොදා සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද කියා සිටි ජනාධිපතිවරයා, පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65 ක් වැනි උපරිම මිලක් තමා විසින් නියම කර ඇතැයි ද කියා සිටියේය.

එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමට කටයුතු කරන බවත්, ඉදිරියේ දී තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය‍.

බැංකු හා මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කරන ලෙස දන්වා ඇතැයි ද පැවසු ජනපතිවරයා, බැංකු විසින් සපයනු ලබන කාරක ප්‍රාග් ධනය සියයට 4 ක පොලියට ලබා දීමට කටයුතු කර බවත් කියා සිටියේය.

Read more

Local News