කොරෝනා නිසා10000ක් ස්වයං නිරෝධායනයට – ව්‍යාප්තිය සදහා රෝහල්වල සුදානම

Share

කොවිඩ් 19 ආසාධිත රෝගීන් 7 දෙනෙකු අද(21) හඳුනා ගෙන ඇති අතර සමස්ත ‍ආසාදිතයින් ගණන 77 ක් බව‍ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අතරින් 48 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, 27 දෙනෙක් විදෙස් ගතව පැමිණි පුද්ගලයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.

ඉතිරි දෙදෙනාට රෝගය ආසාදනය වු ආකාරය ‍පිළිබඳ හේතු වු කරුණු මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටියි.

මීට අමතරව 10,000 ක පමණ පිරිසක් සෞඛ්‍ය අංශ, යුද හමුදා, බුද්ධි අංශ, ‍පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් හඳුනා ගෙන ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට උ‍පදෙස් ලබා දී තිබේ.

රෝහල්වල සුදානම…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, IDH රෝහලට අමතරව නැගෙනහිර කොළඹ මුල්ලේරියාව රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ඇතිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත වෛරසය ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා සුදානම් කර ඇති බවයි.

මීට අමතරව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ ‍ආසාදිත බවට සැක ගැබිණි මව්වරුන් සඳහා කාසල් කාන්තා රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සිදු කරනු ලබයි.

තවද හෝමාගම ‍මුලික රෝහල කොවිඩ් 19 සැක කටයුතු පුද්ගලයින්ටගේ ප්‍රතිකාර සඳහා සුදානම් කර ඇත.

වොයිස් ‍ඔෆ් අමෙරිකා ගොඩනැඟිලි සංකීර්ණය යුද හමුදාවේ සහය ඇතිව නවී කරනය කර වෛරසය ආසාදිතයින් සඳහා සුදානම් කරමින් පවතීයි.

‍එමෙන්ම වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහලෙහි ඇඳන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකය සුදානම් කිරීමට තීරණය කර ඇත.

නිරෝධායනය මධ්‍යස්ථාන ….

දැනට ශ්‍රී ලංකා‍ව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 22 ක් තුළ නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063 ක් සිටින අතර ඉන් 31 ක් විදේශිකයින් වෙයි.

වෛරසය ආසාදිත වුවන් සිටින රෝහල්…

දැනට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 77 ක් හඳුනා ගෙන ඇති අතර, ඉන් 69 දෙනෙක් IDH රෝහලේ ද, 4 දෙනෙක් අනුරාධපුර ‍මහ රෝහලේ සහ 3 දෙනෙක් වැලිකන්ද මුලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඉන්දියාවෙන් පැමිණි පිරිස…

ඊයේ(20) දිනයේ දී පස්වරු 1.30ට පමණ UL196 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ගුවන් මගීන් අතරින් 172 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ඉරනමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත සහ 41 දෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටතට නොයන ලෙසත් නිවසේ රැඳී සිටිමින් මෙම වසංගත තත්ත්වය පාලනයට රජයට සහය දක්වන ලෙසත් යුද හමුදාව ඉල්ලා සිටියි.

Read more

Local News