නව කෙරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයකම වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක් නිරෝධායනයට යොමු කිරිමට සිදුව ඇති බව වාර්තා වේ.
මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර සහ කළුබෝවිල යන රෝහල්වල මෙම තත්ත්වය උද්ගතවී ඇති බව වාර්තා විය.
ඊයේ (30) දිනයේ කොරෝනා ආසාදිත රෝගියා වෙනත් රෝගයක් ඇති බව පවසමින් මීගමුව මහ රෝහලට ඇතුළත්වීමත් සමඟ එම රෝහලේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 20කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරිමට සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය පැවසීය.
මෙවැනි සිදුවිමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආශ්‍රිතව ද වාර්තාවීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන්, විකරණවේදීන් ඇතුළු සෞඛ්‍යකාර්යය මණ්ඩල සාමාජිකයින් 31ක පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සදහන් කළේය.
එමෙන්ම එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ද නිරෝධායනයට යොමු කර ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.
එමෙන්ම කළුබෝවිල රෝහලේ ද ඊයේ දිනයේ එක් වාට්ටුවක් තාවකාලිකවය වසා දැමීමට සිදුව තිබුණි.
කෙසේවෙතත් අදාල රෝහල් වෙත රෝගීන් ඇතුළත් කර ගැනිමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව රෝහල් අධ්‍යක්ෂවරුන් පැවසීය.



