කොරෝනා රෝගීන් ගැවසුණු තවත් ගම්මාන තුනකට දැඩි සීමා

Share

කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට අද(31) දැඩි සීමා පනවනු ලැබීය.

 

එමෙන්ම ඇතුළුවීම සහ පිටවීම තහනම් කෙරුණු අකුරන හා අටලුගම යන ගම්මානවල ආරක්ෂාව තවදුරටත් දැඩි කොට තිබේ.

මේ අතර හමුදාපතිවරයා පවසන්නේ, නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ පුද්ගලයින් 321 දෙනෙකු  අද නිවෙස් බලා පිටව ගිය බවයි.

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමග මහනුවර අකුරන හා බණ්ඩාරගම අටුලුගම යන ගම්මානවලට ඇතුළු විම හා  පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කොට අදට දින දෙකක්.

බණ්ඩාරගම අටුලුගම ගම්මානයේ ග්‍රාමසේවා වසම් 7  පවුල් 3057කට අයත් පුද්ගලයින් 15,162 ක් ජීවත් වෙයි.

ගම්මානයේ රැඳි සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම අදත් සිදුකෙරුණි.

ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේයි.

මේ අතර වසා දමා ඇති අටුලුගම ජනතාවට ලොරි තුනක පටවාගත් පොල් , කොස් හා පාන් රැගෙන පැමිණි හිටපු එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එම ගම්මානයට ඇතුළුවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

හිටපු මන්ත්‍රීවරයා රැගෙන ආ ආහාර ද්‍රව්‍ය වෙනත් ලොරි රථවල පටවා ගම්මානයට යවනු ලැබුවේ පොලීසිය මැදිහත් වීමෙන්.

අද වන විට බාහිර සබඳතාවලින් සම්පුර්ණයෙන්ම දුරස් කර ඇති මහනුවර අකුරන ගම්මානයේ රැඳි සිටින පවුල් ගණන 997ක්.

එම පවුල්වලට අයත් පුද්ගලයින් ගණන 4267 ක් වෙයි.

ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ග වන තෙලඹුගහවත්ත මාර්ගය මෙන්ම තවත් අතුරු මාර්ගයක් මාර්ග බාධක යොදා වසා දමා ඇත.

කෙසේ වෙතත් ගම්මුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සොයා ගත් පුත්තලම කඩුමයම්කුලම් ප්‍රදේශයට ඇතුළු වන මාර්ග 5ම අද සම්පුර්ණයෙන්ම වසා දැමිම පොලිසිය කටයුතු කළේය.

උතුරු නැගෙනහිර හා පොළොන්නරුව යන ප්‍රදේශවලින් මොණරාගලට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු අද ස්වයං නිරෝධානයට ලක් කෙරුණි.

මේ අතර පසුගියදා යාපනයේ යාඥා මෙහෙයකට සහභාගි වූ කෝරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු විදේශිය දේවගැතිවරයා හැටන් දික්ඔය දරවල ප්‍රදේශයට ගොස් යාඥා මෙහෙයක් සිදු කර බඩු භාණ්ඩ බෙදාදිමක් සිදු කර ඇති බව අද තහවුරු කරගෙන තිබේ.

ඒ හේතුවෙන් හැටන් දික්ඔය දරවල පවුල් 200 පමණ ජිවත්වන ප්‍රදේශයක් අද පස්වරුවේ දැඩි නිරෝධායනයට ලක්කිරීමට හැටන් දික්ඔය නගර සභාව ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය තීරණය කළේය.

Read more

Local News