පාස්කු ප්‍රහාරයට වසරයි

Share

2019 අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 02කට හා කොළඹ තරු පන්තියේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08කට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසරක් සපිරෙයි.

 

මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් බෝහෝ පිරිසක් ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ පසුවෙයි.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් අද උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් සිදුකළේය.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව වත් පිළිවෙත්වල නිරත වන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් අද බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ පස්වරුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා තම තමන්ගේ ආගමානුකූලව සිහිපත් කරන ලෙස තමා සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

Read more

Local News