ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ත්‍රීපෝෂ නිවසටම

Share

ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාල නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

කුඩා ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සමඟම ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදා දෙනු ඇත.

එමෙන්ම පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සති 04 තුළ ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොතිබුන හෙයින් දැනට එම ප්‍රතිශක්තීකරණ සායන වසංගත තත්ත්වයන් තුළ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

විශේෂයෙන්ම දුරස්ථ බව රැකගෙන, හැකි තරම් නිවසට සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, සියළු දෙනාට එකවර නොපැමිණ, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් වැඩි විස්තර ඔබට ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සඳහන් කරයි.

Read more

Local News