ඇඳිරි නීතිය ලිහිල් කළ පසු කළ යුතු දේ ජනපති කියයි

Share

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහාය වන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමඟ අද (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.

ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනාධිපතිවරයා, පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කර ඇත.

බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මඟින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා පවසා ඇත.

රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මඟින් බෙදාහැරීමෙන් ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී රෝගීන්ට විශාල සේවාවක් ඉටු කෙරිණ.

තැපැල් කාර්යාල මඟින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් කර ඇත.

කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී තිබේ.

ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශය කිහිපයක ලේකම්වරු සහ සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News