සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර ඉවතට

Share

මාර්ග ගත හෙවත් ඔන්ලයින් ක්‍රමය යටතේ ජංගම වෙළඳාම් කටයුතුවල නිරත වීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

 

ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් වෙළදාම් කටයුතු සිදු නොකිරීම මත කොවිඩ් නයින්ටීන් වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්ත විමේ අවදානමක් පවතින බව පොලීසිය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවලු, පළතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සදහා අවසර ලබාදී ඇති වෙළඳුන් සහ ආයතන ජංගම වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් පොලිසිය විසින් හදුන්වා දී තිබේ.

පිරිසිදු ඇදුමකින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළදීම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත් ආවරණ පැළදීම, විෂබීජානුහරණ දියර භාවිත කිරීම හා බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම සිදුනොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සදහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම සිදුකළ යුතු බව සඳහන්ය.

එමෙන්ම ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම, මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැලකීම, ආහාර මිලදි ගැනීම සදහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ ලබානොදීම, මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසල රැදී සිටීමේදී මීටරයක පරතරය පවත්වා ගැනිම සිදුකළ යුතු බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

Read more

Local News