නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හත් දෙනකු අද හඳුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් ගණන 337 ක් දක්වා ඉහළ ගියේය.
ඊයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනකු හඳුනාගත් අතර ඉන් 13 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
322 වන ආසාදිතයා ලෙස ඊයේ(22) දිනයේ හඳුනාගත් පුද්ගලයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයෙක් වන අතර ඔහු පොළොන්නරුව දිස්ත්‍රිකයෙන් වර්තා වු පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිතයායි.
ආසාදිත පුද්ගලයා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අයෙක්.
ඇදිරි නීතිය තවකාලිකව ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කයක් වුවද පොළොන්නරුව දිස්ත්‍රිකයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් මේ අනුව හුදෙකලා කිරීමට පියවර ගැනුණි.
බෞද්ධාරිතගම, ලංකාපුර , විරපුර ,රිෆායපුර , අල්ලිලාල්පුර , තඹාල , රංගබෝධිගම , පුලස්තිගම , කෑගලුගම , සෝමපුර ,අභයපුර , පටුනුගම යනගම්මාන මෙලෙස හුදෙකලා කෙරුණු අතර මෙහි පවුල් 6060 කට අයත් පුද්ගලයින් 22,380 ක් ජීවත් වෙයි.
මෙම ආසාදිතයා ඇසුරු කළ බව කියන පවුල් 11 කට අයත් පුද්ගලයන් 43 දෙනකු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමටද පියවර ගැනුණි.
මේ අතර වැලිසර කඳවුරේ නාවික හමුදා නිලධාරියා සමීපව ඇසුරු කළ එම කඳවුරේ තවත් සෙබළෙක් පඬුවස්නුවර ප්‍රදේශයේ නිවසට ගොස් සිටියදී ඊයේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් සැක පිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිත නාවික හමුදාවේ සේවයේ නියුතු පුද්ගලයා සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේදී සබදතා පැවැත්වූ බව කියන 42 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ ඔහු සේවය කරන අනුරාධපුර ලංගම ඩිපෝව වෙත පැමිණ තිබේ.
ආසාදිතයා සහ මෙම බස් රියදුරා අතර පැවැති සබදතාව අනාවරණය වීමෙන් පසු ඩිපෝ කළමනාකාරීත්වය මේ පිළිබද අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුවත් කර තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ සෞඛ්‍ය නිලධාරීන් ඩිපෝව වෙත පැමිණ අදාල පුද්ගලයා පරික්ෂා කළ අතර ඔහු රැදී සිටි ස්ථානය සහ ලංගම බස් රථ විෂබීජහරණයට ලක් කරනු ලැබීය.



