පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අන්තවාදීන් අවි පුහුණුව සඳහා යොදාගත් මධ්‍යස්ථාන දෙකක් ත්‍රිකුණාමලය සාම්පූර් සහ තෝපූර් යන ප්‍රදේශවලින් සොයාගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඊයේ (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ද පුත්තලම කේන්ද්‍ර කරගනිමින් අන්තවාදී දේශන පැවැත්වූ සංවිධානයකට සම්බන්ධව කටයුතු කර ඇති බවයි.
පසුගිය වසරේ අප්‍රේල් 21 වනදින එල්ල වූ පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනවලට අදාළව මේ මාසය තුළදී සැකකරුවන් 08 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මෙන්ම නීතීඥවරයෙක් වන හිජාස් හිස්බුල්ලාද විය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අන්තවාදී කණ්ඩායමක් විසින් සාම්පූර් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයේ තෝපූර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය අවි පුහුණු මධ්‍යස්ථාන දෙකක් සොයාගැනීමට විමර්ශකයින් සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෝපූර් අවි පුහුණු මධ්‍යස්ථානයේ තිබී පුහුණුව සඳහා යොදාගත් අවි ආයුද කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.



