මෙරට දී ආසාදනය වූ පළමු කොවිඩ් ආසාදිතයා මාර්තු 11 වැනිදා හඳුනාගත් අතර පසුව ඉතාලියේ සිට මෙරටට පැමිණි පිරිස් ජර්මනිය , එක්සත් රාජධානිය , ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි පිරිස් අතුරින්ද කොවිඩ් ආසාදිතයන් හමු විය.
ඉන් පසු ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයන් වාර්තා වූ අතර එලෙස පැතුරුණු පොකුරු 31 ක් වරින්වර හඳුනා ගැනිමත් සමග එම සෑම ප්රදේශයක්ම හුදකලා කොට වෛරසය පැතිර යාම පාලනයට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනැගැනීමේ කටයුත්තේදී සේවයේ නිරත වූ නාවික හමුදා භටයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වූයේ මෙවන් පසුබිමකයි.
ඒ අනුව මෙරටදී ආසාදනය වූ පළමු කොවිඩ් 19 ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වැනිදා සිට ගෙවුණු සති 7 ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගණනක් වර්තා වුණේ ගෙවුණු සතිය තුළදීයි.
එම සතිය තුළ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 309 ක්.
ඉන් පසු ගෙවුණු දින දෙක තුළ වාර්තා වූ ආසාදිතයන් ගණන 46 ක්.
පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට ඊයේ(01) දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 354 ක් වන අතර ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 273 ක් වේ.
එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 9 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 81 දෙනකු පමණයි.
ඊයේ හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 16 දෙනා අතරින් 09 දෙනෙකු නාවික හමුදා කඳවුරේ සමාජිකයින් වේ.
තවත් පස් දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනෙක් පුද්ගලයන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකින් සහ නාරාහේන්පිට දාබරේ මාවතෙන් හදුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා ක්ෂේත්‍ර ආවේක්ෂණ වලින් තහවුරු කරගත් පුද්ගලයින් විම විශේෂත්වයක්.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය මර්දන කාර්ය සාධන ක්‍රියාකාරි සමාලෝචන කමිටුව ඊයේ රැස්වුණු අතර එහිදි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දි ඇත්තේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේ සිදු වුවහොත් දිනකට සිදුකරන පි.සී.අර් පරික්ෂණ 6000 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි.
මේ අතර ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බව පසුගියදා හඳුනා ගැණුනි.
එම ආසාදිතයින් පදිංචිව සිටියේ ජා-ඇල , පාරිස් පෙරේරා මාවත සහ කළු පාලම යන ප්රදේශවලයි.
ඒ අනුව ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජා-ඇල පොලිස් නිලධාරීන් ඊයේ එම නිවෙස් වෙත පැමිණ කරුණු විමසීය.
ඒ අනුව ආසාදිතයින්ගේ පවුල් වල පිරිස් එම නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් අතර ඔවුන් සියලු දෙනා හෙට දිනයේදී PCR පරීක්ෂණයට ලක්කෙරෙනු ඇති.
කොළඔ දිස්ත්‍රිකයේ අධිඅවදානම් කලාප ලෙස හදුනාගත් ප්‍රෙද්ශවල සිටින සැකසහිත පුද්ගලයින් PCR පරීක්ෂණයට ලක්කිරීම සදහා ජෛව සාම්පල ලබාගැනීම ඊයේ කොළඹ,මුත්තයියා පාර ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර ඉන් ලද වාර්තා අනුව පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ඉන් එක් ආසාදිතයෙක් සේවය කර තිබුණේ නාරාහේන්පිට ,පූජ්‍ය බස්නාගොඩ විමලරතන හිමි මාවතේ පිහිටි ජාතික පොළ භූමියේ ඇති ආපන ශාලාවකයි.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ඊයේ එම ස්ථානයට පැමිණ පොළ භූමියේ ඇති සියලු වෙළදසැල් වසා දමා ඒවායේ සේවය කළ සේවකයින් 50 දෙනාම PCR පරීක්ෂණයට ලක් කරනු ලැබුවේය.
පසුව ජාතික පොළ භූමිය හුදකලා කිරීමටද බලධාරීන් පියවර ගත්තේය.
කොවිඩ් ආසාදිත බවට PCR පරීක්ෂණයෙන් තහවුරු කරගැණුනු අනෙක් පුද්ගලයා සේවය කර තිබුණේ මට්ටක්කුලියේ ආයතනයකයි.
ඒ අනුව එම ආයතනය සම්පූර්ණයෙන් ඊයේ වසා දැමුණේ කිසිවෙකුටත් ආයතනය තුළට ඇතුළුවීම හෝ පිටවීම නවතා දමමින්.
අප වාර්තාකරු සදහන් කලේ අදාල ආයතනයේ සේවය කරමින් සිටි සේවකයින් 45 දෙනෙකු අද PCR පරීක්ෂණයට ලක්කෙරුණු බවයි.
මේ අතර කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හදුනාගත් බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක මහතා සදහන් කළේය.
මේ අතර නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු PCR පරික්ෂණයට ලක්කර ඇති අතර ඔහුගේ පරීක්ෂණ වාර්තා පැමිණීමට පෙර ඉකුත් 29වනදා ඔහු ඇල්පිටිය රෝහලේදීම මිය ගොස් තිබේ.
කෙසේවෙතත් එදින රාත්‍රියේ ලැබුණු පරීක්ෂණ වාර්තාවෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරුවී තිබුණද ඔහුගේ පුත්‍රෙයකු නිරෝධායනයට ලක්කර තිබීම හේතුවෙන් මෘත දේහයේ අවසන් කටයුතු පෙරේදා සිදුකෙරුණේ කොවිඩ් රෝගියෙකුගේ අවසන් කටයුතු සිදුකරන සම්මත නිරෝධායන නීති අනුවයි.
මේ අතර ඌව පළාතෙන් වාර්තාවූ පළමු කොවිඩ් නයින්ටීන් රෝගියා සුවය ලබා යළි නිවස වෙත ගියේය.



