අද රාත්‍රී 8 සිට සඳුදා අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය

Share

අද රාත්‍රී (16) 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 12,000කට පමණ මේවන විට නඩු පවරා ඇති බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද රාත්‍රී 8 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එළැඹෙන මැයි 18 සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරුණු ආකාරයෙන්ම එළැඹෙන මැයි 18 සඳුදා සිටද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඇඳිරි නීතිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ රැඳී සිටි 400 දෙනෙකු යළි සිය ගම්බිම් කරා පිටත්කර හැරීම අද කළුතර දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරුණි.

මේ අතර පූර්ව දැනුවත් කිරීමකින් තොරව හැටන් තැපැල් කාර්යාලය අද වසා තැබීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගැනීම සඳහා අද උදෑසනම එහි පැමිණි වැඩිහිටි පිරිස් අසරණ වී සිටි අයුරු දැක ගත හැකි විය.

අදාළ දීමනාව හැටන් ප්‍රදේශයේ ප්‍රතිලාභීන් වෙත ලබාදීම ඊයේ දිනයේ සිට ආරම්භ වූ අතර තදබදය හේතුවෙන් ඊයේ දිනයේ එය ලබා නොගත් පිරිස් අද පැමිණ සිටියේය.

Read more

Local News