COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය ඊයේ (18) නවීන විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය.
එම සැසිවාරය 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වෙයි.
රටවල් 194 නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය සඳහා සම්බන්ධ වෙයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (18) පස්වරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කාර්යාලයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව අමතන ලදි.
මෙහිදී පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ දී වෛරසය පාලනය හා මැඩපැවැත් වීමට ශ්‍රී ලංකා රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මඟපෙන්වීම හා උපදෙස් ලබාදීම පිළීබද ස්තූතිය පුද කර තිබේ.
ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් (Dr.Tedros Adhanom Ghebreyesus) මහතාගේ නායකත්වය ද ඇගයීමට ලක් කර ඇත.
එමෙන්ම සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සහ 73 වන සභාවාරයේ සභාපති තුමා ඇතුලු සියලු නියෝජිතයින්, ඇතුලු රටවල් 194 නියෝජනය කරමින් සම්බන්ධ වූ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට සුබ පැතුම් ද එක් කර තිබේ.
2019 වසරේ පැවැති 72 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සිට 2020 මෙවර සෞඛ්‍ය සමුළුව දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය ලෝක සෞඛ්‍ය නියෝජිතයින් දැනුවත් කර ඇත.
මීට අමතරව විශ්වීය සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතිය ශ්‍රී ලංකාව තුල විශිෂ්ට ලෙස පවත්වා ගන්නා ආකාරය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය දේශණයේ දී අදහස් දක්වා තිබේ.
COVID-19 ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය හා එම වසංගතය හමුවේ වෛරසය රට තුළ පාලනය හා මර්දනය, ප්‍රතිකාර සේවාවන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමේ වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දී ඇත.
අවසාන වශයෙන් COVID-19 ගෝලීය වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාව සතු අත්දැකීම් අනෙකුත් රටවල් සමඟ බොදාගැනීම මෙන්ම අනෙක් රටවල ඇති විශිෂ්ඨ දෑ රට තු්‍ළ COVID-19 වෛරසය මර්දන ක්‍රියාවලියට උපයෝගි කර ගැනීමට ද ගෝලීය ප්‍රජාව සමඟ එක්වන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



