මැතිවරණය කල්දැමීය යුතුයි – සජිත්

Share

වත්මන් රජය වහාම මහමැතිවරණය කල්දැමිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

කොරෝනා දෙවැනි රැල්ලක් සම්බන්ධයෙන් සියලු තොරතුරු නිකුත් කරනු ලබන්නේ ආණ්ඩු පාර්ශවයෙන් පමණක් බවත් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් පවතින බව ද ප්‍රේමදාස මහතා මෙහිදී කියාසිටියේය.

නමුත් අද වන විට කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වී ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි ද පැවසු ප්‍රේමදාස මහතා, තමා ප්‍රමුඛ පක්ෂය මැතිවරණ කොමිසමට ගොස් මෙය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් ‍නොවන බව කිසිදු “ඩීල්“ එකකින් තොරව පැවසු බවත් සඳහන් කළේය.

මැතිවරණයක් පවත්වන බව පැවසු විගස කොමිසමට හෝ වෙනත් කිසිවෙකුටත් එයට කොන්දේසි ඉදිරිපත් කිරීමට අයිතියක් නොමැති බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා එයින් හානිය සිදුවන්නේ විපක්ෂයට බව ද පැවසීය.

ඒ නිසාවෙන් අනවශ්‍ය නීතිරීති රෙගුලාසි ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන ලෙස තමා රජයට හා මැතිවරණ කොමිසමට පවසන බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

රටේ ජනතාව ගැන සිතනවා නම් කළ යුතුව ඇත්තේ වහාම මැතිවරණය කල්දැමීම බවද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Read more

Local News