අඟුලානේ පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරිව හැසිරුණු 14ක් අත්අඩංගුවට

Share

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සිද්ධියෙන් පොලිස් නිලධාරින් 08 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (17) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අඟුලාන පොලිස් ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (16) පස්වරුවේ ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පොලිස් වෙඩි පහරකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා උසාවි යාමට පෙර පොලීසිය ඔවුන්ව රැගෙන යෑම පිළිබඳ ව විරෝධය පළ කරමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ අඟුලාන ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ.

ඉකුත් ජූලි 10 වැනිදා මොරටුව ලුනාව ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධකයක් අසළ දී අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයකුට වෙඩිතැබීමෙන් එම පුද්ගලයා මිය ගිය අතර ඒ අනුව පොලිස් නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර විමර්ශනයක්ද ආරම්භ කෙරුණි.

එලෙස මිය ගියේ ලුනාව පදිංචි 39 හැවිරිදි ධීවරයෙකි.

සිද්ධියට අදාළ නඩුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවීමට නියමිත තිබුණි.

එහෙත් ඊයේ උදෑසන 5 ට පමණ පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් ධීවරයා මිය යාමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාව ජීප් රථයකින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරින් විසින් ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ එම සාක්ෂිකරුවන් දෙදෙනා පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබූ බව ගම්වාසීන් පවසයි.

අනතුරුව, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් යළිත් ඊයේ පස්වරු 3ට පමණ අඟුලාන පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.

එහිදී කලහකාරී ලෙස හැසිරුණ විරෝධතාකරුවන් පොලිස් ස්ථානය දෙසට ගල් මුල් ප්‍රහාරද එල්ල කළේය.

Read more

Local News