PHIවරුන්ගේ සහයට ඩෙංගු මර්දන සහායකයින් එක්වේ

Share

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සහය පළ කර තිබේ.ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව රට පුරා සේවය කළ ඩෙංගු මර්දන සහායකයින් , කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීමට සඳහා සිදුකළ සියලු රාජකාරිවලින් ඉවත් වූ බව එම සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා සඳහන් කළේය.

 

පීසීආර් පරීක්ෂණ සඳහා සහාය වීම, විෂබීජහරණ කටයුතු, ප්‍රජාව දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග නිරෝධායන කටයුතුවලට සහාය වීම වැනි කාර්යයන් මොවුන් විසින් සිදුකරනු ලැබීය.

තම සේවය ස්ථිර කර නොමැති පසුබිමක රු 22,000 ක මාසික දීමනාවක් ට මෙම සියලු රාජකාරි ඉටුකළ නමුත් එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට තීරණය කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කෙරිණි. නීතිමය රැකවරණය රහිත ව රාජකාරි කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමය පැවසීය.

Read more

Local News