මරණ තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට රජය පියවරගෙන තිබේ.
පසුගිය දා බුස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මරණ තර්ජන එල්ල කර ඇති බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනාගේ ආරක්ෂාව මෙලෙස වැඩිකර ඇති බව බන්ධනාරගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
බන්ධනාගාර පාලන සහ පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර සහ බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන අයගේ ආරක්ෂාව මෙලෙස ඉහළ දමා ඇති බව සඳහන් වේ.
පසුගිය 26 වන දින බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා බන්ධනාගාර නිලධාරින් පිරිසක් අදාළ රැඳවියන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී බන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් වන “කොස්ගොඩ තාරක“ සහ “හික්කඩුවේ පොඩි ලැසී“ යන අය අදාළ නිලධාරින්ට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
තම ජාලයන් දිවයිනේ සෑම ප්‍රදේශයක ම පවතින බවත් අවි ආයුධ ඕනෑ තරම් ඇති බවත් පවසමින් මොවුන් බන්ධනාගාර නිලධාරින් ට මරණ තර්ජන එල්ල කර තිබේ.
අදාළ තර්ජනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අදාළ පරික්ෂණ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබාගැනීමක් ද සිදුකර තිබේ.



