ඇල්පිටියේ දී අවි ආයුධ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

Share

ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග ඇල්පිටිය, ගනේගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතු ව තිබී “බොර 12“ වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ 06ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , අත් බොම්බයක් , ටී 56 උණ්ඩ 23 සහ ටී 56 මැගසිනයක් සොයගෙන තිබේ.

ඊට අමතරව කඩු 03ක් , ත්‍රිවිධ හමුදා නිලඇඳුමක් සහ යුද හමුදා නිලඇඳුම් කමිස 03ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද (22) දින ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සුරියවැව පොලිස් විශේෂ කාර්යය බළකා කඳවුරේ නිලධාරින් සහ සුරියවැව පොලීසිය එක් ව සිදුකළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග වැවේගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News