සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් නියෝගවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරස ව්‍යප්තිය සැළකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා නිකුත් කළ බවය.
කෙසේවෙතත් මැතිවරණ රැස්වීම් සංවිධානය කිරිමේ දී අදාළ නියෝගයන් පිළිබඳ දේශපාලන පක්ෂ සහ එම රැස්වීම් සංවිධායන කරන පිරිස් කිසිදු අවදානයක් යොමුකර නොමැති බව ගැසට් නිවේදනය පළකළ පසුගිය 17 වන දින සිට මේ දක්වා සිදුකළ නිරික්ෂණවලදී පෙනී ගොස් ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
එම තත්ත්වය බරපතල සෞඛ්‍ය අවදානමකට අතවැනීමක් බවත් එමගින් ඉදිරි මැතිවරණයට ද අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවත් ඔහු පවසයි.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව අදාළ නියෝග කඩ කරන්නන් වැළැක්වීම සහ රඳවාගැනීමට පොලිස් නිලධාරියෙකුට බලය පවතින අතර දේශපාලන පක්ෂ විසින් පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙම නියෝග කඩ කිරීම් සිදුකළ ද එම කිසිදු පුද්ගලයෙකුට එරෙහිව පොලීසිය ක්‍රියාකරන බවක් දක්නට නොලැබෙන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍යමය වශයෙන් ඇති විය හැකි අවදානම මෙන්ම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ද මෙම නියෝග කඩ කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් අදාළ නියෝග ක්‍රියාවට නැංවීම සඳහා පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



