රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ
මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2805ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (27) දිනයේ වාර්තා වූ නව රෝගීන් 23 දෙනාත් සමග ය.
ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් 23 දෙනාගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කටාර්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද, කොවිඩ්-19 රෝගීන් ලෙස ඊයේ දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට රෝගීන් 673 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ලදී.
කොවිඩ්-19 රෝගීන් 2121 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.
ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගම්මානවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගත් බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසීය.
ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.
රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පසුගිය 12 වන දින සිට අදාළ ප්‍රදේශයට සංචරණ සීමා පනවනු ලැබීය.
එම රෝගියාගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණු අතර ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමුකළහ.
ඒ අනුව දින 14ක නිරෝධායන කාලසිමාව මේ වන විට අවසන් වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම සහ සිදුකළ පී.සි.ආර්.පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයින් හඳුනා නොගැනීම අදාළ ගම්මානවල සංචරණ සීමා ඉවත් කිරීමට හේතු වු බව වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය සඳහන් කළේය.
ඉතිරි ගම්මානවල ද සංචරණ සීමා ඉදිරි දින කිහිපය තුළ ඉවත් කිරීම හැකි වනු ඇති බව වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර කොරෝනා රෝගියෙකු වාර්තාවීම හේතුවෙන් කල් දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
ඊට අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා මේ වන විටත් ප්‍රදේශය භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.



