ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම නඩුව අද (30) ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් “ජංගම දුරකථන කෙටි පණිවිඩයක්” නම් කර ඇති බවත් එම කෙටි පණිවිඩය අඩංගු ජංගම දුරකථනය මේ වන විට නාවික හමුදාව භාරයේ පවතින බවත් පැවසීය.
ඒ අනුව එම ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නාවික හමුදාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ නාවික හමුදා මූලස්ථානයට නියෝග කළේය.



