කොවිඩ් වෙෙරසයේ නව ප්‍රභේදය යුරෝපයේ පැතිරිලා

Share

කොරෝනා වෙෙරසයේ අලුත් ප්‍රභේදය යුරෝපය පුරා පැතිර ගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වසංගත විශේෂඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගසන් අනතුරු අඟවයි.

යුරෝපයේ රටවල් බහුතරයකට එසේත් නැතිනම් මුළු මහත් යුරෝපයේම නව ප්‍රභේදය පැතිර ගොස් ඇතැයි ද හෙතෙම කියයි.

අඩු ආසාදිත අනුපාතයක් තිබෙන ඩෙන්මාර්කයෙන් ද මෙම ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් හඳුනාගෙන ඇති බැවින් යුරෝපය පුරා මෙය පැතිර ගොස් ඇති බව තහවුරු කිරීමට කරුණු ඇතැයි ද ඔහු පවසයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී පාස්කු සමය වනතුරු දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කියයි.

මහාචාර්ය නීල් ෆර්ගසන් බ්‍රිතාන්‍ය රජයේ ‘කොවිඩ්-19’ උපදේශකයකු ලෙස කටයුතු කළ අතර තම පෙම්වතිය බැලීමට යෑම සඳහා ලොක්ඩවුන් සීමා කඩ කිරීම හේතුවෙන් එම තනතුරෙන් ඉවත් විය. හෙතෙම ලන්ඩන් නුවර පිහිටි ‘ඉම්පීරියල් කොලේජ්’ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. මිනිසුන් හා සතුන් අතර බෝවෙන රෝගවල රටා සම්බන්ධයෙන් හෙතෙම විශේෂඥයෙකි. මීට පෙර ලොව ඇති වූ වසංගත තත්ත්ව සම්බන්ධයෙන් ද හෙතෙම පර්යේෂණ රැසක් කරමින් ඒවා පාලනයට දායකත්වය සපයා ඇත.

මේ අතර කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය එක්සත් රාජධානිය පුරා පැතිර ගොස් ඇතැයි ද එරට විද්‍යාඥයෝ ඊයේ දිනයේ (23) අනතුරු ඇඟවූහ.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රටටම බල පැවැත්වෙන පරිදි දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ලේකම්) මැට් හැන්කොක් පසුගියදා තවත් අනතුරු ඇඟවීමක් කළේය.

Read more

Local News