දකුණු අප්‍රිකාවට ඇඳිරි නීතිය පනවයි

Share

දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සීමා කිරීම් පනවමින් නීති දැඩි කිරීමට එරට ජනාධිපති රමපෝසා පියවර ගෙන තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාව ආසාදතයින් මිලියනය ඉක්මවූ අප්‍රිකානු කලාපයේ පළමු රට බවට පත්වීමත් සමග ජනාධිපතිවරයා මෙම සීමා කිරීම් පිළිබඳව නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව අවමංගල්‍ය ඇතුළු ඉතා සුළු අවස්ථාවන් කිහිපයකදී හැර අන් අවස්ථාවල ජනතා ඒකරාශීවීම් තහනම් වනු ඇති.

මීට අමතරව රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇති.

මත්පැන් අලෙවිය ද තහනම් කර තිබේ.

තවද සියලුම සාප්පු, තැබෑරුම් සහ අනෙකුත් ජනතාව රැස්වන ස්ථාන රාත්‍රී 8 වනවිට වසා දැමිය යුතු බවට ද දැනුම් දීම් සිදු කර තිබේ.

මේ අතර පොදු ස්ථානවලදී මුව අවරණ පැළඳීම අනිවාර්ය වන අතර එසේ නොමැතිවුව හොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.

ජනාධිපතිවරයා මෙම නව සීමා කිරීම් පනවමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, වෛරස ව්‍යාප්තියත් සමග රට ඉතා භයානක තැනකට ගමන් කරමන් ඇති බැවින් මෙම දැඩි සීමා කිරීම් පැනවූ බවයි.

අවම වශයෙන් මෙම නව සීමාකිරීම් ලබන ජනවාරි 15 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.

පසුගියදා නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමත් සමග එරට රෝහල් මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝ්නා මරණ සංඛ්‍යාව 26000 ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News